තපස්සු භල්ලුක මහා සෑය
ලාංකීය ථේරවාදී බෞද්ධ ශිෂ්ඨාචාරයේ නිජබිම ලෙස උතුරු නැගෙනහිර දෙපළා ඉඳුරා ම නම් කළ හැකි ය. ජීවමාන බුදුසමය දක්වා දිවයන ඉතිහාස ප්‍රවෘත්තීන් හා ක්‍රි.පූ පළමුවන සහ දෙවන සියවස් දක්වා විහිදී යන බෞද්ධ පුරාවිද්‍යාත්මක නටඹුන් ඊට කදිම ලෙස සාක්ෂි සපයයි.
එදා අප මහා තථාගතයන් වහන්සේට මී පිඬු පූජා කළ තපස්සු භල්ලුක දෙබෑයන් හට ත්‍යාගයක් වශයෙන් සර්වඥයන් වහන්සේ ස්වකීය ශ්‍රී හස්තයෙන් ම කේශ ධාතුන් වහන්සේලා තමන් වහන්සේ ගේ ශීර්ෂය පිරිමැද ලබා දුන් බව ශාසන වංශ කථාවේ පැහැදිලි ලෙස සඳහන් වේ.
එම ධාතුන් වහන්සේලා වැඩමවාගෙන අප ලක්දිවට පැමිණි එම වෙළඳ දෙබෑයන් දෙදෙනා ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තිරියාය නැමැති ග්‍රාමයේ මහා සෑයක් කරවා එම සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරනු ලැබූ බව අප ලංකා ඉතිහාසයේ සඳහන් වේ. ලක්දිව ඉදි වූ පළමු චෛත්‍යය ලෙස අදත් විරුදාවලි ලබමින් නොයෙක් ජනයාගෙන් වැඳුම් පිදුම් ලබන එම පුරාණ සෑය අද ගිරිහඬු සෑය නමින් හඳුනා ගැනෙයි.
එදා ලක්දිවට පැමිණි එම තපස්සු භල්ලුක දෙබෑයන් දෙදෙනා ලංකා ධරණී තලයට ගොඩ බසිනු ලැබූවේ අද අරිසිමල වෙන සේනාසන මූලස්ථානය වන ආසිරිකන්ද වන සෙනසුන පිහිටා ඇති සුන්දර අරිසිමලය නම් වෙරළ තීරයෙනි.
එම ඉතිහාස පුවත සිහිවීම පිණිසත්, එම වෙළඳ දෙබෑයන් දෙදෙනාට උපහාර පිණිසත්, ලක්දිවට ගොඩ බැසි පළමු සර්වඥ කේශ ධාතුන් වහන්සේ සිහිවීම පිණිසත් එම ස්ථානයේ ඉදිකරන්නට යෙදුණු මහා සෑ රදුන් තපස්සු භල්ලුක මහා සෑය නම් වේ.